අවුරුදු 9 වැරදීමකින් හිරබත් කෑ පුන්කුඞී

by November 26, 2014 0 comments
විනිසුරුතුමත් කනගාටුව පළකලා..
හිරේ ගිහින් මාස 03න් මනුස්‌සයා මැරුවා..

කේ. පුන්කුඩි පස්‌දරු මවකි. පසුගිය කාලයේදී ඇය ජීවිතාන්තය දක්‌වා සිරද`ඩුවම්
වි`දිමින් සිටියාය. ඒ හෙරොයින් ග‍්‍රෑම් 45.2 ළඟ තබාගැනීමේ චෝදනාවට කොළඹ මහ අධිකරණයෙන් වරදකාරිනිය වීමෙනි. ඇයට ජීවිතාන්තය දක්‌වා සිරද`ඩුවම් විඳීමට නියම වන්නේ වර්ෂ 2005 වසරේ ජූනි 09 වැනිදාය. බන්ධනාගාරගත වූ දිනයට නුදුරේදීම ඇය මේ වරද සම්බන්ධව නිවැරදිකරු බව කියමින් අභියාචනාධිකරණයට ඇපෑලක්‌ ඉදිරිපත් කළාය. අභියාචනාව විභාගයට ගැනීමට පුරා වසර නවයක්‌ ගත විය. වසර නවය තුළම ඇය සිරබත් කෑවාය. ඒ කාලය තුළ ඇයගේ සැමියා මරා දැමිණි. සොයුරා මරා දැමිණි. දරුවන් පස්‌දෙනා හුදකලා විනි.

පුරා වසර නවයක්‌ තිස්‌සේ විභාගයට ගැනුණු අභියාචනයේ තීන්දුව පසුගිය මස 17 වැනිදා ප‍්‍රකාශයට පත් වුයේය. ඒ.ඩබ්ලියු.ඒ සලාම්, එච්.එන්.ෙඡ්. පෙරේරා, සහ සුනිල් රාජපක්‌ෂ යන අභියාචනා විනිසුරු මඩුල්ල විසින් සලකා බැලූ‍ණු මේ පෙත්සමේ තීන්දුව ප‍්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණ විනිසුරු ඒ.ඩබ්ලියු.ඒ සලාම් පුන්කුඩි චෝදනාවෙන් නිදහස්‌ කළාය.

අභියාචනය විභාගයට ගැනීම මෙතරම් පමාවීම පිළිබඳ විනිසුරුවරයා සිය කනගාටුව ද පළ කළේය. පුරා වසර නවයක්‌ තිස්‌සේ ඇයට සිරබත් කන්නට සිදුවී ඇත්තේ අධිකරණ පරිපාලන පද්ධතියේ ඇති දුර්වලතාවයක්‌ නිසා බව විනිසුරුවරයා කීවේය. යුක්‌තිය පසිඳලීමට පමා වීමත් යුක්‌තිය අහිමි කිරීමක්‌ බවට මෙය කදිම උදාරහණයක්‌ බවත් ඔහුගේ තීන්දුවේ ප‍්‍රකාශ වුයේය.

පුන්කුඩිලාගේ පවුලේ ඇත්තන් අපරාධ කරුවන් වන්නට ඉඩ ඇත. එහෙත් අපරාධකරුවන් විෂයෙහිත් නීතිය ක‍්‍රියාත්මක වන ගෞරවනීය පිළිවෙතක්‌ තිබේ. එසේ තිබුණා නම් පුන්කුඩිගේ සැමියා ඇයව බලන්නට පැමිණ ගෙදර යන විට හ`දුනා නොගත් අයවලූ‍න් විසින් මහ පාරේ මරා දමන්නේ නැත. ඒ මිනීමරුවන් පිළිබඳ තොරතුරු අධිකරණයේ නොකියවී තිබෙන්නේත් නැත. අභියාචනාධිකරණයක තීන්දුව එනතුරු අවුරුදු ගණන් පුන්කුඩිලා නිස්‌කාරණයේ හිරබත් කන්නේ ද නැත. අපේ රටේ සමස්‌ථ අධිකරණ ක‍්‍රමයේ යථාර්ථය තේරුම් ගැනීම සඳහා මේ කතාව කියන්නට අප කල්පනා කරන්නේ ඒ නිසාය.

මගෙ මනුස්‌සයා කුඩු බිස්‌නස්‌ කරපු එක ඇත්ත. ඒත් මමවත් මගෙ දරුවොවත් ඒ බිස්‌නස්‌වලට සම්බන්ධ වුණෙ නෑ. කිසිම දවසක මම කුඩු අල්ලලවත් නෑ. මගෙ මනුස්‌යත් අපිව බිස්‌නස්‌වලට සම්බන්ධ කරගන්න කැමති වුණේ නෑ. දවසක්‌ පොලිසියෙන් පැනලා මුළු වත්තම වටලලා විෙඡ්ව හෙවුවා. ඒත් විෙඡ් හිටියේ නෑ. අන්තිමේ පිට ගෙදරක තිබිල කුඩු පැකට්‌ ටිකක්‌ ගත්තා. ඒ ගෙදර අය කියලා තිබුණා විෙඡ්ගෙ බඩු කියලා. මම ඒ කිසිම දෙයක්‌ දැනන් හිටියේ නෑ. පස්‌සේ පොලිිසිය අපේ ගෙදරට ඇවිත් ඇහුවා විෙඡ් කෝ කියලා... මම කිව්වා එයා පුත්තලමේ වත්තට ගිහින් කියලා. එතකොට පොලිසිය කිව්වා මේ විෙඡ්ගෙ බඩු. ‘විෙඡ් නැත්නම් උඹ වරෙං යන්න‘ කියලා කුඩුත් එක්‌ක මාව අරගෙන ගියා.

එතැන කුඩු ග‍්‍රෑම් හතළිහක්‌ තිබුණා. අන්තිමේ පොලිසිය මාව උසාවියට දැම්මේ කුඩුත් එක්‌ක අත්අඩංගුවට ගත්ත විදිහට. උසාවිය මාස තුනකට මාව රිමාන්ඞ් කළා. එතකොට මට චූටි පුතාව හම්බ වෙන්න ඉන්නවා. මාස තුනකට පස්‌සේ මම නිදහස්‌ වුණා. මහා අධිකරණයේ නඩුව ඇහුවා... පළවෙනි සාක්‍ෂිය, දෙවැනි සාක්‍ෂිය ගත්තා. අවුරුදු පහක්‌ නඩුව ඇදුනා. අන්තිමේදී මහ අධිකරණයෙන් මාව ජීවිතාන්තය දක්‌වා හිරේට තීන්දු කළා.

තීන්දුව දෙන්න ඉස්‌සරවෙලා උසාවිය මගෙන් නිදහසට කරුණු ඇහුවා. ඒ කාලෙ මට හරියට සිංහල කතා කරන්න බෑ. නිදහසට කරුණු කියන්නේ මොකක්‌ද කියලා මට තේරුණෙ නෑ. මම කතා නොකර හිටියා. ලෝයස්‌ලත් නඩුව කතා කළේ ඉංග‍්‍රිසීයෙන්. මට ඉංග‍්‍රීසී කතා කරන්න තේරෙන්නෙත් නෑ. ලෝයස්‌ලා කතා කරන දේවලූ‍ත් මට තේරුණේ බොහෝම අඩුවෙන්. විෙඡ්ගෙ නම කියනවා ඇහුනා... මල්ලිගෙ නම කියනවා ඇහුනා... මට තේරුණෙ එච්චරයි. පස්‌සේ මම හිරේට ගියා. එතකොට මට වයස අවුරුදු හතළිහයි. මෙයාට අවුරුදු දෙකයි...‘

පුන්කුඩි එසේ කියමින් ඇය අසළ සිටි එක්‌ දරුවකුව අපට පෙන්නුවාය. උඩුකය නිරුවතින් සුදු කොට කලිසමකින් සැරසී සිටින ඔහු නිලූ‍ක්‍ෂාන්ය. වයස අවුරුදු එකොළහකි. එහෙත් ඔහු වයසට වඩා පෙනුමය. පුදුමයෙන් මෙන් නිලූ‍ක්‍ෂාන් අප දෙස බලා සිටියි. අපේ දෑස්‌ ද මොහොතක්‌ ඔහු අසළ රැුඳිණි. එහෙත් ඔහුගේ මුහුණේ සිනාවක සේයාවක්‌ මැවෙන ලකුණක්‌වත් නැත.

‘මල්ලිට සිංහල තේරෙන්නේ නෑ. ඒකයි අපි කතා කරන දිහා පුදුමයෙන් වගෙ බලාගෙන ඉන්නේ....‘ පුන්කුඩිගේ ලොකු දුව ජෙස්‌මි එසේ අපේ කතාවට සම්බන්ධ වූවාය.

‘අම්මා හිරේට ගිහින් මාස තුනක්‌ යනකොට තාත්තවත් මැරුවා. තාත්තගෙ මිනිය පෙන්වන්න හිරේ හිටිය අම්මව එක්‌කගෙන ආවා. එදා අම්මා මාව බදාගෙන ‘පුතේ මම වරදක්‌ කරලා නෑ... උඩ ඉන්න දෙයියෝ ඒක දන්නවා... මම කවදාහරි ඔයාල ළඟට එනවා, එතකම් නංගිව මල්ලිලාව හොඳට බලාගන්න කිව්වා. තාත්තයි, අම්මයි දෙන්නම නැති වුණාට පස්‌සේ ‘දැන් උන් ඉවරයි. උන් ගාවට ගිහින් වැඩක්‌ නෑ...‘ කියලා හිතපු අපේ නැදෑයෝ, හිතවතුන් කවුරුවත් අපිව බලන්න ආවේ නෑ.

එතකොට මට අවුරුදු දහ නවයයි. යන්තමට හරි දැනුම් තේරුම් තිබුණෙ මට විතරයි. නංගිට අවුරුදු අටයි. ලොකු මල්ලිට හතයි. දෙවැනි මල්ලිට පහයි. චූටි මල්ලිට දෙකයි. එතකොට මමත් ඉස්‌කොලේ යනවා. තාත්ත නැති වුණා... අම්ම ඇතුළට ගියා... මට කිසිම දෙයක්‌ හිතාගන්න බැරිව ගියා.

‘විෙඡ් කියන්නේ අම්මිගෙ දෙවැනි හස්‌බන්ඞ්... මගෙ තාත්තා මාව පොඩි කාලෙම දලා ගිහින්... මට අවුරුදු දහතුනකට පස්‌සේ තමයි අම්මි දෙවැනි කසාදය කරගෙන තියෙන්නේ. පුංචි කාලේ ඉඳල මට තාත්තාගෙ ආදරෙ ලැබුණෙ නෑ. මට ඒ අඩුව පිරෙව්වේ විෙඡ් තාත්තා. එයා කුඩු විකුණන්න ඇති. ඒත් ඒ මගෙ තාත්තා.‘ වචනයෙන් වචනය වේගවත් වුණු ජෙස්‌මිගේ කතාව එක පාරටම ඉකිබිඳුමක්‌ බවට පෙරළිණි. එහෙත් කඳුළු මතින් ඇය දිගටම කතා කළාය.

‘අපිට කවුරු නැති වුණත් දෙවියෝ ඉන්නවා...‘ කියලා අන්තිමේ මම හිත හදාගත්තා. මට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒත් අපේ අම්මා කවදාහරි අපි ළඟට එනවා, එතකම් මම මේ හතරදෙනාට අම්මා වෙනවා කියලා මං ඉස්‌කෝලෙ ගමන නතර කළා. හැමෝම නැති වුණාට අපේ ගෙදර වැඩ කරපු ඇන්ටියි තව මාමා කෙනෙකුයි අපි ළඟට වෙලා හිටියා...

මම ජීවිතේ බර කරට ගත්තා. තාත්තට පුත්තලමේ පොඩි ඉඩම් කෑල්ලක්‌ තිබුණා. තව පුංචි ගෙවල් කෑලි කීපයක්‌ හදලා කුලියට දීලා තිබුණා. මේවයින් එන ආදායම පාලනය කරන්නන සිද්ධ වුණේ මට. මල්ලිලව බලා ගන්න ටිකක්‌ අමාරු වුණා. තාත්තා නැති වුණාට පස්‌සේ ලොකු මල්ලිට ඉස්‌කෝලෙ යන්න බැහැ කිව්වා. එයා අවුරුද්දක්‌ම ගෙදරට වෙලා හිටියා. අන්තිමේ මගෙ කටේ බලේට තමයි එයා ආයෙමත් ඉස්‌කෝලෙ යන්න පටන් ගත්තේ... අම්මාගෙ නඩුව ගෙනියන්නයි... මල්ලිගෙ ඉස්‌කෝලවල පීස්‌ ගෙවන්න ලැබෙන ආදායම මදි වුණා. හැමෝටම උගන්වන්න වියදම් කරන එක ගැටලූ‍වක්‌ වුණා.

‘අම්මා හිරේට ගිහින් අවුරුද්දක්‌ දෙකක්‌ යනකොට මමත් කසාද බැන්දා... මටත් දරුවෝ දෙන්නෙක්‌ හම්බ වුණා. නංගිලා මල්ලිලා හතරයි. මං ඉබේම දරුවො හය දෙනෙකුගේ අම්ම කෙනෙක්‌ වුණා. මගේ හස්‌බන්ඞ් ඉන්දියාවේ ටෙක්‌ස්‌ ටයිල් බිස්‌නස්‌ කරනවා. මේ හතර දෙනාව දාලා මට හස්‌බන්ඞ් ළඟට යන්නත් බෑ. අපි සේරම නිවාඩුවට ඉන්දියාවට ගිහින් මාසයක්‌ විතර ඉඳල එනවා.

මහත්තයට හොඳ වත්කමක්‌ තිබුණා. එයා යහපත් මිනිහෙක්‌. ඒ හින්දා මට නංගිලා මල්ලිලා හැමෝම හොඳට බලා ගන්න පුළුවන් වුණා. හොඳට ඉගැන්නුවා. කාටවත් කිසිම අඩුවක්‌ කළේ නෑ. ලොකු මල්ලි අශාන්. සාමාන්‍ය පෙළ පාස්‌ වෙලා ඉංජිනේරින් කරන්න  ඕනා කිව්වා. පස්‌සේ මම එයාව ඉන්දියාවේ කැම්පස් එකකට යෑව්වා. නංගි දිශානි. උසස්‌ පෙළ කරනවා එයා කැමති මාධ්‍යවේදිනියක්‌ වෙන්න. තුන්වෙනි මල්ලි අනුක්‍ෂාන්. එයත් කැමති ඉන්ජිනේරීන්වලට. චූටි මල්ලි නිලූ‍ක්‍ෂාන්. එයා නම් කියන්නේ චෙෆ් කෙනෙක්‌ වෙනවා කියලා. ඒ හැමෝම ඒ අයගේ ටාගට්‌වලට ඉගෙන ගන්නවා. දැන් මට තියෙන එකම සතුට ඒ අයගේ සතුට විතරයි...‘ ඇය කියාගෙන ගියාය. සිය සොයුරු සොයුරියන්ට මවක්‌ වූ මේ දයාබර දියණියගේ ජීවිතාවර්ජනය පුන්කුඩි අසා උන්නේ දෙකොපුල් මතින් රූරා වැටෙනා කඳුළු වලට නිදහසේ ගලා යන්නට ඉඩ දෙමිනි. මොහොතක නිහැඬියාවකින් පසු පුන්කුඩි යළි සිය හ`ඩ අවදි කරනු අසා සිටියෙමි.

විෙඡ්ව මැරුවේ මාව බලන්න ඇවිත් යනකොට. එයාව මරලා දෙවැනි දවසේ මගෙ මල්ලිවත් මැරුව. ඒ එක්‌ක තව දෙන්නෙක්‌ව මරලා තිබුණා. ඒ අයව මැරුවේ කවුද කියලා අදටවත් දන්නේ නෑ. මිනිහ වැරදි වැඩ කළා නම් එයාට දඬුවම් දෙන්න  ඕනා. ගෑනිට දඬුවම් කරලා වැඩක්‌ නෑ. කිසිම වරදක්‌ නොකරපු මම අවුරුදු නවයහමාරක්‌ හිර බත් කෑවා. මේ ලෝකය දිහා දෙයියෝ බලනවා නම් ඒ නඩුව දෙයියෝ විසඳයි...‘ කඳුළු පැන පුන්කුඩිගෙ වචන හිර කෙරිණි. ඇගේ කම්මුල් දිගේ ඒ ක`දුල ගලාගෙන යනු බලා සිටියෙමි.

‘වරදක්‌ කරලා නැති බව දන්න නිසා හිරේට නියම වුණ ගමන්ම නැවත අපි නඩුව ඇපිල් කළා...‘ කඳුළු පිසිමින් පුන්කුඩි නැවත කියන්නීය.

පුන්කුඩි කතාව නතර කළ තැනින් ජෙස්‌මි කතාව නැවත පටන් ගත්තාය.

‘මමයි තව අංකල් කෙනෙකුයි තමයි ලෝයස්‌ලා අල්ලලා නඩුව භාර දුන්නේ. ලෝයස්‌ලා නඩුව භාරගන්න අකමැති වුණා. පස්‌සේ මම ලොයර් කෙනෙකුට පින්සෙන්ඩු වෙලා කොහොමහරි නඩුව භාර දුන්නා. නීතිඥ මහත්තුරුන්ට ගෙවන්න උනේ ලක්‌ෂ ගණනින්. ඒ වෙනකොට අපිට ගොඩක්‌ අගහිඟකම් තිබුණා. පස්‌සේ මම ලෝයර්ව හම්බ වෙලා අපේ අසරණකම කිව්වා. ලෝයර්ට අපි ගැන දුක හිතිලා අපෙන් සල්ලි ගන්නේ නැතිව නඩුව කතා කරන්න කැමති වුණා...‘ දැන් මව සහ දුව අතර කතාව දෝලනය වන්නේය.

‘මගේ ලෝයර් කිව්වා ඔයා වරදක්‌ කරලා නැති නිසා නිදහස්‌ වෙයි කියලා... ඒ වචන ටික තමයි මාව ජීවත් කෙරෙව්වේ...‘ පුන්කුඩි කීවාය.

‘අපේ පවුල නැති වුණා...‘ පුන්කුඩි අඬන්නීය.

‘මිනිහ නැති වුණා... දරුවෝ මෙහෙ දුක්‌ වින්දා... මම හිරේ දවසින් දවස මැරි මැරි ඉපදුනා. අප්පිරියයි... මෙතැන ඒ ජීවිතය ගැන කතා කරන්න බෑ...‘ පුන්කුඩි කතාව නතර කළාය.

‘කොහේ සිර ගෙදරද හිටියේ...‘ කෙසේ හෝ ඇයගේ සිරගත ජීවිතය තුළට එබිකම් කිරීමේ බලාපොරොත්තුවෙන් මම එසේ ඇසුවෙමි.

‘අවුරුදු අටහමාරක්‌ හිටියේ වැලිකඩ. ඊට පස්‌සේ අවුරුද්දක්‌ දුම්බර හිටියා. ඒක නම් තනිකර අපායක්‌. වතුර නැතිව දවස්‌ දෙක තුන ඉන්නවා. හරියට කන්නවත් දෙන්නේ නෑ. එහේ හිටිය අවුරුද්දෙ අඬන්නේ නැතිව හිටිය දවසක්‌ නෑ. ඒ තරමට දුක්‌වින්ඳා. වැලිකඩ වතුරයි බතුයි හරියට වේලාවට කන්න දුන්නා. වතුර තිබුණා. අනිත් එක අපේ ගෙවල්වලට ළඟයි. කාටහරි බලන්න එන්න යන්න වුණත් පුළුවන්. ඇතුළෙ  ඕන තරම් ෆෝන් තියෙනවා. දවස ගානේ දරුවන්ට කතා කරලා දුක සැප බලන්න පුළුවන්. මටත් ෆෝ----න් එකක්‌ තිබුණා. දුම්බරත් ෆෝන් තිබුණා. ඒත් කතා කරන්න අමාරු වුණා... වැලිකඩ හිටියත් දුව විතරයි මාව බලන්න ආවේ. එයාටත් මාව බලන්න එන්න වෙලාවක්‌ තිබුණේ නෑ. කොච්ච වැඩ තිබුණද...‘

‘ජීවිතේ ඇති වෙන්න දුක්‌වින්ඳා. ආයෙමත් මම නරකාදියට වැටෙන්නේ නෑ...‘

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment